ඉංග්‍රීසි බසින් බිය යන අරුත ඇති Phobia යන වචනය ග්‍රීක භාෂාවේ Phobic යන වචනයෙන් බිඳී ආවකි.මනෝ විද්‍යාත්මකව භීතිකාව යන වදනින් සරලව යමකට ඇති බිය හඟවයි. මෙවන් වූ විවිධ භීතිකා වර්ග අතුරින් සුලභව දක්නට ලැබෙන භීතිකාවකින් විභාග භීතිකාව.
තරඟය ස්වභාවිකවම මානව ශිෂ්ටාචාරය පවතින්නක්.
කායික වශයෙන් ප්‍රබලයා හා දුබලයා යන සංකල්පය පැවති මුල්ම ශිෂ්ටාචාරය පටන් මේ දක්වා දක්නට ලැබෙන්නකි තරඟය. තරඟය ඇතුළත මම ජයග්‍රහණය කළ යුතු යැයි යන ආකල්පය පරිණාමයේ පටන් මිනිස් චිත්ත සන්තානයහි කිදා බැස ජානමය ලෙස බලපෑම් කරන සාධකයක් බවට පත්ව තිබේ. මෙකී තරඟයෙන් ඉදිරියට පැමිණෙන්නා සමාජ ගෞරවයට පාත්‍ර වේ යැයි පවතින හැඟීම ප්‍රබල ව ඉස්මතු වන අවස්ථාවක් ලෙස විභාගය හඳුන්වා දීමට පුළුවන.
තෝරා ගැනීමේ තීරකයා විභාගයයි.
තාක්ෂණය දියුණුවත්ම වර්ධනය වෙන අනෙකුත් පහසුකම් සමඟ තරඟකාරීත්වය දිනෙන් දින සීඝ්‍ර ලෙස ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයකි. සමාජය තුළ ඇති නැති පරතරය අවම වන විට සියල්ලන් ම එක හා සමාන තත්ත්වයට පත්වීම ස්වභාවිකය. මෙවැනි තත්ත්වයක් මත තරඟයකින් තොරව සුදුස්සා තෝරා පත්කර ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක්ව පවතී. සෑම අවස්ථාවකම විභාගය යන සාධකය භාවිතයට ගෙන තිබෙන්නේ හොඳ දේ අතුරින් හොඳම දේ තෝරා ගැනීමට යි. එය තීරණය කරනු ලබන තීරකයා නම් විභාගයයි.
තමා පිළිබඳ වූ විශ්වාසයේ මඳකම
විභාගය සෑම අවස්ථාවකම තීරණාත්මක සාධකය බව පුද්ගල මනස තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වන්නකි. මෙය වඩාත් අහිතකර ලෙස ළමා මනස තුළ ක්‍රියාත්මක වීම දක්නට පුළුවන. විභාගය සිතූ පැතූ සම්පත් ලබා දෙන කප් රුකක් ලෙස සිතීමත් තමාට අහිමි දේ දිනා ගැන්මට විභාගය සමත්වීම අත්‍යාවශ්‍යය යැයි සිතීමත් සමාජ වසංගතයක් ව පැවතීම පැහැදිලි කරුණකි.
ඒ හේතුවෙන් වඩාත් ප්‍රබලව ළමා මනස තුළ එය ක්‍රියාත්මක වීම දක්නට ලැබේ. නමුත් විභාගය සමත් වීම පිළිබඳ තමා තුළ පවතින විශ්වාසය අඩු වැඩි වන තැනදී ළමයා භීතිකාවට පත් වීම සිදු වේ. එය ස්වභාවිකය. ඊට පැහැදිලි හේතුව වන්නේ පවතින තරඟකාරිත්වය යි.
අධික තරඟකාරිත්වයක් නොතිබුණි නම් විභාගය භීතිකාවක් වීම සිදු නොවන්නකි. නමුත් අද වන විට සමාජයේ බහුතරයක් පිරිස කුමන හෝ ක්ෂේත්‍රයකින් දැනුමත්තන් බවට පත්වීමට අධ්‍යාපනය හැදෑරීම සිදු කරයි. මේ තත්ත්වය හමුවේ තරඟය නිරන්තරයෙන් සමාජය තුල නිර්මාණය වීම සිදු වේ. එකී තරඟයට මුහුණදීමට පවතින අනවශ්‍ය විය හා පීඩනයෙහි අවසන් ප්‍රතිඵලය නම් ඔහු හෝ ඇය දරුණු ලෙස විභාගයට භීතිකාවක් දැක්වීමයි .
තරඟය නිර්මාණය කරන පාර්ශවයන්
තරඟය නිර්මාණය කරන පාර්ශවයන් ගත්විට අංක එකේ පාර්ශවය වන්නේ දෙමාපියන් ය. මෙය පෙර පාසල් අධ්‍යාපනයේ පටන් දක්නට ලැබෙන්නකි. මෙරට දෙමාපියන්ගේ පවතින ප්‍රබල දුර්වලතාවයක් නම් තම දරුවාගේ දක්ෂතාවයේ හා හැකියාව අන් ළමුන් හා සසඳා බැලීමට කටයුතු කිරීමයි.
එහිදී ඔවුන් නිරන්තර උත්සාහ කරන්නේ අනෙකාට සාපේක්ෂ ව තම දරුවා උගතෙකු කිරීමටයි. දෙමාපියන්ගේ බලය ,තත්ත්වය ,පන්තිය වෙනුවෙන් පෙනී සිටින ආයුධය නම් ළමයායි. දෙමාපියන් විසින් දරුවා වෙත පවරා තිබෙන අසීමාන්තික පීඩනයත් අවිවේකී තත්ත්වයත් පිටේ එල්ලෙන පාසල් බෑගයෙන් මනාව පිළිබිඹු වෙයි.
මෙරට මිනිසුන්ගේ චින්තනය සකස් වී තිබෙන්නේ වෛද්‍ය වෘත්තිය හා ඉංජිනේරු වෘත්තිය හැර පිළිගත් වෘත්තියක් සමාජයෙහි නො පවතින බවටයි. එවැනි වූ දෙමාපියන් තුළ පවතින නිවැරදි නොවන වැරදි මතවාදවල ගොදුර බවට පත් වන්නේ ළමයාය. මේ සඳහා දෙමාපියන්ගෙන් මෙන් ම ගුරුවරුන්ගෙන් ද සිදුවන මැදිහත්වීම ද ඉහළ මට්ටමක පවතී. පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ටොල්ස්ටෝයි ප්‍රකාශ කරන්නේ,
" ඉගෙනීම තුළින් සිදුවන්නේ ළමයා බලහත්කාරයෙන් පෙට්ටියක් තුළ බහා පෙට්ටියේ හැඩයට කෑලි කපා පූර්ණ අංගවිකල තත්ත්වයට පත් කිරීමකි" යනුවෙනි. දරුවාට නිවැරදිව වැඩෙන්නට ඉඩ හැර ඊට ගැළපෙන රාමුවක් සකස් කළ යුතු වුවත් ළමයා වැඩිහිටියන්ට ගැලපෙන රාමුවක් තුළ හිර කිරීමට යාමෙන් විවිධ කායික හා මානසික රෝගවලට ගොදුරුවීම අරුමයට කරුණක් නොවේ.
විභාගය තව දුරටත් භීතිකාවක් නොවන්නට
- මනස සැහැල්ලු කරන ව්‍යායාම වල යෙදීම වැදගත්.
මානසික පීඩනය සීමා කිරීමට විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකිය. ඒ සඳහා විවේකය විශ්‍රාන්තිය දෛනික ජීවිතය තුළ ඇවිදීම පුරුද්දක් කර ගැනීම , නිදාගැන්මට පැයකට පමණ පෙර හුදකලාව මනසට විවේකීව ගත කිරීම ,ස්වභාවික සෞන්දර්යය සමඟ වැඩි වශයෙන් කාලය ගත කිරීම අතිශයින් වැදගත්ය.
- සොබාදහම සමඟ පාඩම් කරන්න.
පාඩම් කරන දෙය මැනැවින් මනසේ ධාරණය වීමට සොභාදහම මඟින් ලබාදෙන පිටුවහල ඉතා ඉහළය. ගහ කොළ හරිත පැහැය ස්වාභාවික වාතාශ්‍රය සමග පාඩම් කිරීම තුළින් මනසේ පවතින පීඩාකාරී බව ඉවත් වී සැහැල්ලු මනසකින් ඒ සඳහා පූර්ණ අවධානය යොමු කිරීමට අවස්ථාව උදාවේ.
- උපදේශන සේවාවලට යොමු වීම.
විභාග කාලසීමාවේදී විභාගයට මුහුණ දෙන්නන් මෙන් ම දෙමාපියන් ගුරුවරුන් ද උපදේශන සේවා වැඩමුළුවලට යොමු වීම සිදු කළ යුතුය. ඒ මඟින් විභාගයට සරල මනසකින් මුහුණදෙන්නේ කෙසේද යන්න පිළිබඳ හා ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දෙන්නේ කෙලෙසින් ද යන්න පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමට අවස්ථාව උදාවෙයි.
- ක්‍රමවත් හා සැලසුම් සහගතව අධ්‍යාපන කටයුතුවල නිරත වන්න.
තම වැඩ කටයුතු සඳහා මනා ලෙස ගැලපෙන කාල සටහනක් නිර්මාණය කර ගැනීම විභාග කාල සීමාවේදී වඩා වැදගත් වූවකි. ක්‍රියාකාරකම් නියමිත පරිදි වෙන් කොට ගෙන සිදු කිරීමෙන් වැඩ මඟ හැරීමට පවතින ඉඩකඩ සීමා වෙයි. ඉක්මනින් මතකයේ රැඳෙන කෙටි ක්‍රම , රූප සටහන් , වගු , කෙටි සටහන් භාවිතය තුළින් ඉගෙනීමෙහි නිරත වීමෙන් අධ්‍යයන කටයුතු පහසු කර ගැන්මට නිතැතින් ම අවස්ථාව උදා වේ.
Itha wedagath lipiyak
ReplyDeletewadagath lipiyak
ReplyDeleteIt's Important to learners, Thank you
ReplyDelete