Friday, July 6, 2018

ලබා ගත් ආදරය ළඟ තබා ගැනීම ආදරය ලබා ගැන්මට වඩා අසීරු කටයුත්තක්.........





විවාහය අකුරු හතරක සරල වචනයක් වුවද ඒ යට සැඟවී පවතින අරුත ඉතා සංකීර්ණ වූවකි. පෝරු මස්තකාරූඪ වී අතපැන් වත්කිරිමෙන් ඇරඹෙන පවුල් සංස්ථාව සතුට තෘප්තිමත්භාවය සමඟ දිගුකාලීනව පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව නව යුවතිපතීන් මනා අවබෝධයකින් කටයුතු කිරීම යුග දිවියට එක් කරන්නේ අපූර්ව වූ සුන්දරත්වයක් මෙන්ම සතුටකි.

දෙදෙනා කෙරෙහි ඇති විය යුතු අනොන්‍ය විශ්වාසය 

බුදු දහමට අනුව පුද්ගලයා සතු පරම ඥාතියා විශ්වාසයයි. විවාහයේ මුල් පියවරේ පටන් එකිනෙකා කෙරෙහි ගොඩනඟා ගන්නා අනොන්‍ය විශ්වාසය සාර්ථක යුග දිවියකට ශක්තිමත් අඩිතාලමක් සකස් කරයි. තම තමන් කරන දේ කීමත් කියන දේ කිරීමටත් කටයුතු කිරීම වැදගත් කරුණකි. ඔවුනොවුන් එකිනෙකා කෙරෙහි විවෘත වන්නේ යම් සේ ද එලෙසින්ම ඔවුන් අතර විශ්වාසය වර්ධනය වීම සිදු වෙයි. විවාහ සංස්ථාව තුළ මොනයම් හෝ මොහොතක අනෙකා කෙරෙහි වංචාවෙන් කටයුතු කළේ ද එයින් බිඳවැටෙන විශ්වාසය නැවත ඇති කිරීම කළ නො හැක්කකි. එනිසා අතැඟිලි බැඳුණු මොහොතේ පටන් මියෙන තුරාවට එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වෙයි. ඔවුනොවුන් කෙරේ පවතින විශ්වාසය යුග දිවියට එක් කරන්නේ අපූර්ව වූ වටිනාකමකි.

අනෙකාට ගරු කිරීම ඔබට ද ගෞරවය ලබා දෙයි.

පුද්ගලයා සතු ශක්තීන් පිළිබඳව පවතින ආත්ම අභිමානය සැමට පොදු අයිතියකි. තමාට හිමි ආත්ම අභිමානය තමා ඉදිරිපිට සිටින්නාට ද එක ලෙස පවතින බව යුග දිවිය තුළ නිරන්තර අවධියෙන් සිටිය යුතු කරුණක් වෙයි. යුගදිවියේදී එකිනෙකා කෙරෙහි වූ අභිමානය කඩ නො වන ලෙස කටයුතු කිරීම අනෙකා කෙරෙහි ගෞරවය දැක්වීම ලෙස හඳුන්වනු ලැබේ. ඔවුනොවුන්ගේ කතාවේ ස්වරය සුහදශීලී විය යුතුය. නිරතුරුව දෙදෙනා කෙරේ ප්‍රියමනාප ලෙස කථා කළ යුතුය. කිසිදු විටක තමා තුළ පවතින වෙනත් ප්‍රශ්නයක් තමා ඉදිරිපිට සිටින තම බිරිඳගෙන් හෝ ස්වාමිපුරුෂයාගෙන් මුදා හැරීම නො කළ යුත්තකි. සෑම මොහොතකම ඔවුන් සතුටු වන පරිදි ක්‍රියා කිරීම  බෙදා හදා ගනිමින් වැඩ කටයුතු සිදු කිරීම තුළින් නො දැනුවත්ව ම සිදු වන්නේ එකිනෙකාට ගෞරව කිරීමයි. එය නීති මාලාවක් නො ව තමා තුළ අනෙකා කෙරෙහි වූ ආදරය ගෞරවය විදහා දක්වන ක්‍රමෝපායකි.

අනෙකාගේ සිතැඟි තේරුම් ගැනීම විවාහයට ආශිර්වාදයකි.

ඔවුනොවුන්ගේ රුචි අරුචිකම් පිළිබඳව ඒවා ක්‍රියාවට නංවන්නේ කෙලෙසින්ද යන්න පිළිබඳව ව මනා අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම යුග දිවියට එක්කරන්නේ වඩා ආදරණීය බවකි. ඔවුන් කැමති අකැමැති දේ සම්බන්ධව අවබෝධයකින් සිටීම තුළින් අනෙකා වේදනාවට කනස්සල්ලට පත් නො කර නිරන්තර සතුටින් තැබීමට හැකියාව උදා වේ. මේ තුළින් වක්‍රාකාරයෙන් පිළිඹිබු වන්නේ තම අභ්‍යන්තරයේ ඔහු හෝ ඇය වෙනුවෙන් පවතින ඉවසීම දරා සිටීම හා තේරුම් ගැනීමයි.




දැනෙන්න ආදරය කරන්න

පතිකුලයට පිවිසෙන නව යුවතිපතීන් සුලභව මැසිවිලි නඟන කරුණක් නම් ආදරය සෙනෙහස කෙතරම් පැවතිය ද එය තේරැම් නො ගන්නා බවයි. එකිනෙකා කෙරේ කෙතරම් ආදරයක් පැවතිය ද⁣ එම ආදරය සිත් තුළ රහසිගතව තබා ගැනීම දෙපාර්ශවය කෙරේම ඇති කරන්නේ අහිතකර බලපෑමකි. අනෙකා කෙරෙහි වූ ආදරය දැනෙන්නට කළ යුත්තකි. ඒ තුළින් ආදරය ආරක්ෂාව රැකවරණය සුහදශීලී බව ඉවසීම වැනි හදවතට සමීප කාරණා ඔවුනොවුන් වෙත දැනීම ස්වභාවයෙන් ම සිදුවන්නකි. 
යුග දිවිය තුළ ලිංගික කටයුතු අනිවාර්ය සාධකයකි. නමුත් විවාහයෙන් වසරක් දෙකක් ගතවන විට ලිංගික ආශ්වාදය හීන වීම සිදු වෙයි. මීට බලපාන ප්‍රධාන සාධකය  වන්නේ එකිනෙකාට දැනෙන ලෙස ආදරය කිරීමට අපොහොසත් වීමයි. ලබා ගත් ආදරය ළඟ තබා ගැනීම ආදරය ලබා ගැන්මට වඩා අසීරු කටයුත්තකි. ඒ සඳහා පිළිවෙත්  පිරිය යුතු වෙයි.
 එකිනෙකාගේ දෑස් දෙස මොහොතක් බලා සිටිමින් දෙදෙනා වෙනුවෙන් කතා කරන්න. සුවදුක් විමසන්න. කාර්යබහුල දිවියේ පැය විසි හතරෙන් එක් මිනිත්තු දහයක් තම ආදරය ප්‍රකාශ කිරීමට වෙන් කිරීම නිරතුරුවම සිදු කරන්න. ඒ තුළින් වඩා ආදරණීය යුග දිවියක උරුමකරුවන් වීමට නිතැතින් ම අවස්ථාව උදා වෙයි.

සරලව ජීවත් වෙන්න.

එකවර ළඟා කර ගැන්මට අපහසු බලාපොරොත්තු හීනවලින් ජීවිතය පුරවා ගැනීම තුළින් දැනෙන අසීමාන්තික වගකීම හා වෙහෙසකාරී බව යුග දිවිය තුළ සතුටට හා සමාදානයට එක් කරන්නේ ගැටලු රාශියකි. පතිකුලයට එළඹුන නව යුවතිපතීන් තම අලුත් ජීවිතය සරල සැහැල්ලු බලාපොරොත්තුවලින් පුරවා ගන්නා තරමට ඔවුන්ගේ ජීවිත තුළ සතුට දිගු කලක් ආරක්ෂා කර ගැන්මට හැකියාව හිමි වෙයි.මුදල් පසුපස හඹා යන තරඟකාරී ජීවන රටාවට තරුණ ජීවිත ඉතා ඉක්මනින් ආකර්ශනය වීම දක්නට ලැබෙන්නකි. කාලය ගත වීමේ දී මතුවන ගැටලුවලින් වෙහෙසට පත් ව හැරී බලන විට යුග දිවිය තුළ මුදල මිස හිමි කර ගත් කිසිවක් නොමැති බව අවබෝධ වෙයි. නමුත් ඒ වනවිට බොහෝ දේ අහිමිව ගොස්  හමාරය. එබැවින් හැකි සෑම විටම සරල සැහැල්ලු ජීවන රටාවකට නව යුවතිපතීන් යොමු වීම තුළින් සෙනෙහස පිරුණු යුග දිවියක සතු⁣ට ලබා ගැන්මට හැකියාව උදා වෙයි.

No comments:

Post a Comment

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...