Saturday, August 4, 2018

මතකය හා අමතක වීම



මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් අමතක වී යා හැකිය. නමුත් දිගුකාලීන මතකය වූ බොහෝ දේ වැඩි කාලයක් පවතී.

දිගුකාලීන මතකයේ වැදගත්කම

කිසියම් මතකයක් කෙටිකාලීන මතකයට පැමිණි පමණින්ම දිගුකාලීන මතකයට ගමන් නො කරයි. තමාට ඉතා වැදගත්  වන අත්දැකීමක් නම් එය ඉක්මනින් දිගු කාලීන මතකයට ගමන් කරයි. ඉගෙනීම අත්දැකීමක් ලෙස කළ යුත්තේ එබැවිනි. ප්‍රායෝගික පරීක්ෂණ අවශ්‍ය වන්නේ එබැවිනි. එසේ ම වර්තමාන මතකය තුළ නිතර නිතර අභ්‍යාස කිරීමද දිගු කාලීන මතකයට ගමන් කිරීමට වැදගත් වේ. එසේම තොරතුරට ඔබ දෙන වටිනාකම එය ගැඹුරු මතකයට ඇතුළු වීමට හේතුවේ.
කිසි යම් විෂයක මූලික සිද්ධාන්ත නියම නීති ආදිය පමණක් ගැඹුරු මතකයට ඇතුළු වන බව සොයාගෙන ඇත. එබැවින් කිසිවෙකු සියළුම තොරතුරු ගැඹුරු මතකයේ රඳවා  කාලයක් ගැනීමට උත්සාහ කිරීම නිශ්ඵල   කාර්යයකි. දිගුකාලීන මතකය තුළ තැන්පත් වීමට සිද්ධාන්ත දීර්ඝ කාලයක් තිස්සේ ඇසුරු කරමින් ක්‍රමවත්ව අධ්‍යනය කළ යුතුය.
වැඩිපුර විස්තරාත්මක දේ විභාගය ආසන්නයේ දී අධ්‍යයනය කර කෙටිකාලීන මතකය රඳවා තබාගෙන විභාගය අවසන් වූ වහාම අමතක කර දැමීම වඩාත්ම සුදුසු ක්‍රමයයි.

Friday, August 3, 2018

පෙම් සිතක පැතුම්........











පෙරුම් පුරනවා මම
ඔය දෑතේ පැටලිලා 
හිරු බැසගෙන යන
සැදෑවක දොඩමළු 
වෙන්න මට ආසයි......

ජීවිතයේ පැතුව
හැමදේම නොලැබුනත්
ඔය සෙනෙහස ඇති මට 
ජීවිතේ බොහෝ දුරක් යන්න....

ඔබ සිහිනයක් වෙලා එන්න
මගේ හද කුටියට 
මම බලන් ඉන්නවා 
ඔය නීල දෑස දකින තුරා....

විභාග සමයේ නො දැනීම ඉහළ යන ඇදහිලි භීතිකාව



ලෞකික ජීවිතේ විවිධාකාර වූ අරමුණු හා අවශ්‍යතා එදිනෙදා අනුගමනය කරන උපක‍්‍රම භාවිතයෙන් සපුරා ගත නො හැකි වන තැන පුද්ගලයා නො පෙනෙන බලවේග වෙත නැඹුරු වෙමින් එකී අවශ්‍යතා සපුරා ගැනීම සාමාන්‍ය කරුණක්.
ලෝකෝත්තර අරමුණු ඉටු කර ගනු වස් සිදු කරන පුද පූජා වැඳුම් පිඳුම්වලින් අභිචාර විධි නියත වශයෙන් ම වෙනස් වන අතර ඊට හේතු වන්නේ ඒ තුළින් අපේක්ෂා කරන්නේ ලෞකික සැපය වීමයි. ලාංකීය සමාජය තුළ විභාගය අභිචාර විධි ප‍්‍රබලව ඉස්මතු වන අවස්ථාවකට කදිම නිදසුනක්.

විභාගය සුදු අභිචාර විධි ක‍්‍රමයක්.

අභිචාර සුදු හා කළු අභිචාර වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකින් සමන්විතයි. මිනිසාගේ යහපත පෙරදැරි කොට ගෙන නො පෙනෙන බලවේගයන්හි පිහිට ප‍්‍රාර්ථනා කරන පුද පූජා අනුගමනය කිරීම සුදු අභිචාර ගණයට අයත් වන අතර මිනිසාගේ අයහපත උදෙසා අනුගමනය කරන අභිචාර අයත් වන්නේ කළු අභිචාර ගණයටයි. යථාර්ථවාදී බව වෙන ම කරුණක් වුව ද විභාග සාර්ථකත්වය බලාපොරොත්තුවෙන් දෙමාපිය දරුවන් අදෘෂ්‍යමාන බලවේගයන්හි පිහිට පැතීම සුදු අභිචාර ලෙස හැඳින්විය හැකිය. 

තර`ඟකාරී අධ්‍යාපනය රටාව මූලික ම හේතුවක්.

ලංකාවේ නූතන අධ්‍යාපන ක‍්‍රමය තරඟකාරී වූවක්. රටේ පවතින ආර්ථිකය මීට ප‍්‍රබල හේතුවක් වෙයි. විශාල පිරිසකට අධ්‍යාපනය ලබා දීමට පවතින ආර්ථික ගැටළු සහගත තත්ත්වය මත විභාගය තීරණාත්මක සාධකය වී තිබේ. අතිශය බැරැරුම් විභාග ක‍්‍රමයක් යොදා ගනිමින් අති බහුතරය ඉවත් කර සුළු පිරිසක් තෝරා ගැන්මට කටයුතු කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. මෙම තරඟය, පවතින අධ්‍යාපන ක‍්‍රමය විසින් දෙමාපියන්ට හා දරුවන්ට එක හා සමාන ව මානසික වශයෙන් කාවද්දා තිබෙන කාරණාවකි. 
අනෙක් හේතුව නම් සහතික පදනම් කොට ගත් අධ්‍යාපන ක‍්‍රමයයි. මිනිසා ආධ්‍යාත්මික වශයෙන් ගොඬනඟා ගත් දක්ෂතා හැකියාවන් හා ශක්තීන් පිළිබඳ විශ්වාසය තබනවාට වඩා වැඩි විශ්වාසයක් සමත් වූ විභාග ප‍්‍රමානය හා ලබා ගත් සහතික ප‍්‍රමානය මත තීරණය කරයි. 



දක්ෂතා හා හැකියා මිනුම් කිරීමට සහතිකය යන සාධකය පැමිණ තිබීම මත සහතික පසුපස හඹා යන ස්ථානයට නූතන සමාජය පැමිණ තිබේ. මේ තත්ත්වය මත ලාංකීය අධ්‍යාපන ක‍්‍රමය අතිශය තරඟකාරී ස්වභාවයට පත් වීම ඛේදනීය කරුණකි. මෙහි අහිතකර තත්ත්වය වන්නේ කුමන ක‍්‍රමයකින් හෝ තරඟය ජය ගැනීමට කටයුතු කිරීමයි. එහි දී ඇතැමුන් නීතී විරෝධීව විභාග නීතී උල්ලංඝණය කරමින් විභාග ජයගැන්මට කටයුතු කරන අතර ඇතැමුන්  නො පෙනෙන බලවේගයන්හි පිහිට පතා යාම වත්මන් සමාජය තුළ දක්නට ලැබෙන්නකි. 

අභිචාරාත්මක යොමු වීම තමන් කෙරේ වූ විශ්වාසය මඳකමේ කැඩපතයි. 

කිසියම් පරීක්ෂණයක් කඩයිමක් මුල් කොට ගෙන තමන්ට උපරිම අයුරින් මුදල් වියදම් කොට ඉගැන්වීම  ඕනෑම සමාජ ක‍්‍රමයක දෙමාපියන් විසින් සිදු කරන්නකි. වසර ගණනාවක් විශාල මුදලක් වැය කරමින් දරුවාට ඉගැන්වීම සිදු කරන දෙමාපියන් විසින් ම අවසානයේ දී තම දරුවන් විවිධ අභිචාර විධි අනුගමනය කිරීම සඳහා රැගෙන යාම ලාංකීය සමාජය තුළ සුලභ ව දක්නට ලැබෙන තත්ත්වයකි. මීට හේතු වන්නේ කෙතරම් ඉගෙන ගත්ත ද නො පෙනෙන බලවේගවල පිහිට නොමැතිව විභාගය සමත් වීමට නො හැකිය යන වැරදි අරමුණු දෙමාපියන් හා දරුවන් තුළ කාවැදී පැවතීමයි. ඉන් සිදුවන්නේ දිගුකලක් පුරා මහන්සි වී ලබා ගත් දැනුම අදෘෂ්‍යමාන බලවේගයකට දෙවැනි වීම පමණකි. 
සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයට අනුව කාල් මාක්ස් මෙකී තත්ත්වය දක්වන්නේ ” අධ්‍යාත්මික පරාරෝපණය ” යනුවෙනි. එනම් තමා තුළ වූ හැකියාවන් අරමුණු දිනා ගැන්මට වඩා සංස්කෘතිකමය විශ්වාසයන්හි ඇති නො පෙනෙන බලවේග කෙරේ පුද්ගලයා විශ්වාස තැබීමයි. 


මීට හේතුවන්නේ සංස්කෘතිකමය බලවේග විසින් මිනිසාගේ ශක්තීන් උදුරා ගෙන ඒ වෙත නැඹුරු කොට ගෙන පැවතීමයි. නො පෙනෙන බලවේගවල මිනිසා එල්බ සිටීම තුළ තමා සතු වූ හැකියාව ශක්තීන් දිය වී යාම අරුමයට කරුණක් නො වේ. තවද දෙමාපියන් පූර්ණ වශයෙන් අභිචාර විධිවල එල්බ සිටින අතර දරුවා කෙරේ ද ආරෝපණය කිරීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක්. මේ තුළින් සිදුවන්නේ අරමුණු කරා යාමට දරුවා තුළ වූ ශක්තිය කුඩා කලදීම මොට කර දැමීමකි. 

අභිචාර පසුපස හඹා යාම ආර්ථික ගැටළු ඇති කරවන්නක්

වත්මන් ලාංකීය සමාජය තුළ අභිචාර කටයුතු යනු හුදෙක් ව්‍යාපාරයක් පමණකි. අනාගත සුභ සිද්ධිය බලාපොරොත්තුවෙන් අන්ධානුකරණයට ලක් ව සිටින දෙමාපියන් මුලාවට පත් කර තම මඩිය තර කර ගැන්මට කූඨ ව්‍යාපාරිකයින්ට මෙය කදිම අවස්ථාවක් වී තිබේ. මෙහි ඛේදනීය තත්ත්වය නම් ඉගෙනීමට විශාල මුදලක් වැය කරන දෙමාපියන් ඊට වඩා දස ගුණයක් පදනම් රහිත අභිචාර විධි කෙරේ යෙදවීමට කටයුතු කිරීමයි. සමාජ විද්‍යාත්මකව මෙය කරුණු තාර්කික පදනමක් සහිත කටයුත්තක් නො වේ. 



අභිචාර විධි සමාජ ව්‍යසනයක් නො වන්නට


01. පවතින අධ්‍යාපනයේ තරඟකාරිත්වය අවම කිරීම අනිවාර්ය කරුණක්

ලාංකීය අධ්‍යාපන ක‍්‍රමය තුළ තරඟකාරී විභාග මානසිකත්වය අවම කිරීම හා සැහැල්ලූවෙන් විභාගය සුදානම් කිරීමේ පරිසරයක් ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. බටහිර රටවලට සාපේක්ෂ ව ලංකාවේ පවතින අධ්‍යාපන ක‍්‍රමය අසාමාන්‍ය තත්ත්වයක්. බටහිර රටවල තර`ඟකාරී විභාග මානසිකත්වය සැහැල්ලූ කිරීමට විවිධ ක‍්‍රමවේද අනුගමනය කිරීම සිදු කරයි. අප රට පවතින විභාග ක‍්‍රමය සකස් වී ඇත්තේ ම විභාගය අසමත් කිරීමේ අරමුණින්ය. ඊට හේතුව වන්නේ ආර්ථික සම්පත්වල හි`ඟතාව වුවත් මෙයින් දරුණු පීඩාවට පත්වන්නේ ළමයායි. විභාගය හා අධ්‍යාපන ක‍්‍රමය අතර පවතින තර`ඟය යම් ප‍්‍රමානයකට අවම කර ගැන්මට කටයුතු කිරීම තුළ මිනිසුන් අදෘෂ්‍යමාන බලවේග කෙරේ යොමු වීම පාලනය කිරීමට හැකියාව උදාවෙි. 

02. ආගමික කටයුතු කෙරේ වැඩි වශයෙන් නැඹුරු වන්න.

අභිචාර විධි ස`දහා බිලි පූජා ,මිනිස් කෙස් , නියපොතු රුධිරය ආදී පාරිශුද්ධතාවයෙන් තොර විවිධ අපවිත‍්‍ර දෑ භාවිතයට ගැනීම දක්නට ලැබෙන්නක්. නමුත් ආගමික ක‍්‍රියාවලදී එවැනි අපිරිසිදු ක‍්‍රියාවන්හි නිරත වීම සිදු නො කරන්නකි. එහිදී සිදුවන්නේ පාරිශුද්ධතාවයට මුල් තැන දීමකි. විභාග අවස්ථාවලදී ද තම ආගමට දහමට අනුව ධාර්මික කටයුතු කෙරේ යොමු වීම තුළින් වඩා යහපත් ප‍්‍රතිඵල ලබා ගැන්ම අපහසු කරුණක් නො වනු ඇත.




Thursday, August 2, 2018

පන්හිඳ නුඔ.....





ඇරඹුමක් නැති ආදරේ
ජීවිතයම වී ඇති ලෙසේ
නොමියෙන ලෙන්ගතුකමින්
අපි සදාකල් හමුවෙමු මෙසේ......

නුඔ පාලු වූ අහසට සඳයි
මගේ ලොවේ ආලෝකයයි
ජීවිතේ දහසක් තැවුල්
නිවාලන වස්සානයයි......

මා විඩා වී සැනසුම සොයයි
නුඔ සිනා සී මා ළඟ සිටී
ආදරේ කවි පොත මගේ
ලියා දෙන පන්හිඳ නුඔයි......


Tuesday, July 31, 2018

මාධ්‍ය නිදහස හා සදාචාරය



බොරුව කිහිපවතාවක් ම ප‍්‍රකාශ කිරීමෙන් පරම සත්‍ය බවට පත් වේ. පළමු බොරුව දෙවන සත්‍ය ට වඩා ප‍්‍රබල බව හිට්ලර්ගේ මාධ්‍යවේදියා වන ගොබෙල්ස් ප‍්‍රකාශ කර තිබේ. මාධ්‍ය නිදහස හා සදාචාරය පිළිබඳ සඳහන් කරන විට එය අදට වුව ද උචිත වන්නකි.
ජනතාවට ලොව සිදුවීම් වාර්තා කරන්නා මාධ්‍යවේදියා ය. ජනමාධ්‍ය වූ කලී ජනතාව කෙරේ වාර්තා සපයන විද්‍යුත් හා මුද්‍රිත වශයෙන් වර්ග කර දැක්විය හැකි මාර්ගයකි. රූපවාහිනි , ගුවන් විදුලිය ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය වන අතර ප‍්‍රවෘත්ති පත‍්‍ර , සඟරා , බැනර් , පෝස්ටර් , අත්පති‍්‍රකා ආදිය  මුද්‍රිත මාධ්‍ය ගණයට දක්වාලිය හැකිය. මාධ්‍ය හා මාධ්‍ය සදාචාරය පිළිබඳ ව අන් කවර කලකටත් වඩා වැඩි අවධානයක් යොමු විය යුතු කාලය අද වන විට උදා වී තිබේ.
පසුගිය මහ මැතිවරණ හා ජනාධිපතිවරණවලදී මෙරට විද්‍යුත් මෙන් ම මුද්‍රිත මාධ්‍ය ක‍්‍රියා කළ ආකාරය සදාචාරාත්මක නො වේ. සත්‍ය ආවරණය කරමින් මහජනයා ගොනාට ඇන්දවීමේ ක‍්‍රියාදාමයක් සිදු විය. රජයේ මාධ්‍ය රජයේ හඬ නංවමින් රජයේ හොරණෑව වූ අතර පෞද්ගලික ජනමාධ්‍ය විපක්ෂයේ හඬ නංවමින් ක‍්‍රියා කරන්නට සමත් විය. සාමාන්‍ය ජනයාගේ හඬ කෙරෙහි දෙපක්ෂයේ ම අවධානය යොමු වූ බවක් දක්නට නො ලැබුණි. ජනතාව වෙත අලෙවි කරන ජනතාව විසින් ජනතාවගේ මුදලින් මිලට ගෙන නරඹනු ලබන මාධ්‍ය මඟින් පළවෙන්නේ ජනතාව⁣ගේ ජනමතයක් නො වේ නම් එහි ඇති සදාචාරයක් නැත. 
ශ‍්‍රි ලංකාව තුළ ක‍්‍රියාත්මක වන පෞද්ගලික සමාගම් මඟින් පවත්වා ගෙන යනු ලබන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඇතැම් අවස්ථාවල මෙරට සිවිල් සමාජයට සිදුකරන බරපතල වූත් අවඟුාව වන්නේ ඔවුන් පිළිගත් දේශපාලන මතවාද ජනතාව මත පටවන්නට දරණ පහත් වෑයමයි. දේශපාලනය පමණක් ම නො ව ඔවුන්ගේ සංස්කෘතිය , ඔවුන්ගේ පිළිගැනීම් අර්ථ ක‍්‍රමය සාමාන්‍ය ජනතාව තුළට බලෙන් රිංග වීමට දරණ ප‍්‍රයත්නයන් ද දැක්ක හැකිය.
මහජනමතය ලෙස හැඳින්වෙන්නේ රටක බහුතර මතයයි. එම මතයට ගරු කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. වර්තමාන මාධ්‍යවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී සදාචාරය දක්නට නො ලැබේ. ඊට බලපෑම් කරනු ලබන ප‍්‍රධාන හේතුව අප රට මාධ්‍යවේදීන් යැයි කියාගන්නා ඇතැම් කොටස් දේශපාලනඥයින්ගේ අතකොළු හෝ රූකඩ බවට පත් ව සිටීමයි. ස්වාධීන මතයක් පළ කිරීමට මාධ්‍යවේදියෙකුට හැකියාවක් නැත. සත්‍ය විකෘති කිරීමට සිදුවෙයි. අසත්‍ය සත්‍ය බවට පත් වෙයි. මිත්‍යාව පැතිරී යයි. සාරධර්ම අවඟුාවට ලක්වෙයි. ජනමතයට ඉඩක් නො ලැබෙන විට එහි මතුවන්නේ ප‍්‍රචණ්ඩත්වයයි.  



මෑතකාලීන ව රට තුළ වේගයෙන් මතු ව එන නවාංගයක් වශයෙන් දේශපාලන ප‍්‍රචණ්ඩත්වය දැක්විය හැකි අතර ඒ කෙරේ මාධ්‍ය වගකිව යුතු වෙයි. දිගින් දිගට ම සිදුවන අනෙන්‍ය කෙටවිලි , කේලාම් , අවලාද මාධ්‍ය සදාචාරය නො ව මාධ්‍ය දුරාචාරය ප‍්‍රදර්ශනය කරවයි. පක්ෂක්ගා‍්‍රහී වූ දේශපාලන විසංවාද සිවිල් සමාජය තුළ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය කරවයි. රට තුළ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ජාතික අර්බුධකාරී වාතාවරණයක දී මාධ්‍යකරුවන් යොදා ගනු ලබන මෙවැනි අශෝබන සංවාදයන්වල අමිහිරි වූ ප‍්‍රතිඵල සෑම දේශපාලන පක්ෂයකට ම අඩුවක් නොමැති ව 
අත්විඳින්නට සිදුවෙයි. ජනයා තුළ වෛරී හා ද්වේශ සහගත ආකල්පයන් තැන්පත් වන අතර ඒ මඟින් ඇතිවන්නේ දැනුවත් බව හෝ යථාවබෝධය නො ව ප‍්‍රචණ්ඩත්වයයි. මෙරට මාධ්‍ය මඟින් ශී‍්‍ර ලාංකික සංස්කෘතික රාමුව බිඳ දැමීමට සපයා ඇති දායකත්වය අති විශාලය. නිරුවත් අඩ නිරුවත් දර්ශන හා ඡායාරූප බොළඳ පේ‍්‍රමකතා යෞවනයින් මුසපත් කරවන ප‍්‍රබන්ධ මේ යුගයේ හිඟ නො වේ. දෙමව්පියන් විසින් තම ලෙයින් මසින් සැදු දරුවන් විකුණා ජීවත් වන බඩගොස්තරවාදය රජයන සමාජයක සදාචාරය සහ සංස්කෘතිය විකිණීම අපහසු කරුණක් නො වේ. මාධ්‍ය කෙරේ උපරිම වූ නිදහසක් ලබා දීම මඟින් සමාජය හානිදායක තත්ත්වයක් කරා යොමු කරවනු ලබයි. කිසිඳු ප‍්‍රබල මූලාශ‍්‍රවලින් තොරව  ඕනෑම බොරුවක් මිත්‍යාවක් සත්‍ය ලෙස සැකසීමට ඇති ඉඩකඩ වළක්වාලිය යුතු වේ.



මානව හිතෛෂී මාධ්‍යවේදීහු මානව හිතවාදය පෙැදැරිව කටයුතු කරන අතර සත්‍ය වෙනුවෙන් කටට පිස්තෝලය තැබුව ද ඉන් නො නැවතී තම ප‍්‍රතිපත්තිය අත් නො හරියි. ජනතාව වෙනුවෙන් නැඟී සිටියි. රටක සංස්කෘතියට හානිදායක ව හඬ නඟන බඩගෝස්තරවාදය රැක ගන්නා ආත්මාර්ථකාමීන් හට ජාතියේ නමස්කාරය හිමි නො වන අතර මානව හිතවාදී ව කටයුතු කරන මාධ්‍යවේදීහු හට ජාතියේ උත්තමාචාරය හිමි වේ. තාරුණ්‍යයේ ප‍්‍රබෝධකාරකයන් වන සංගීතය නාට්‍ය වැනි ක්ෂේත‍්‍රයන් තුළ නුසුදුස්සන් සුදුස්සන් කොට ඇත්තේ මාධ්‍ය මඟිනි. රටෙහි දක්ෂ කලාකරුවන් උගතුන් විද්වතුන්ට හිමි ව ඇත්තේ නුසුදුස්සන්ටත් වඩා පහළ ස්ථානයක් වන අතර එමඟින් සමාජය තවදුරටත් යථාර්ථයෙන් දුරස්ථ වී යාමක් සිදු වේ. එනම්  මේ එළඹී ඇත්තේ මාධ්‍ය දුරාචාරය පිටු දැකිය යුතු යුගයක ආරම්භයයි. 






Monday, July 30, 2018

වස්දඬු රාවේ හඬ අනුරාගේ.............





ලාංකීය සමාජය තුළ ලිංගිකත්වය  ප‍්‍රසිද්ධියේ කතිකාවට  බඳුන් කරන  කරුණක් නො වේ.  ලිංගිකත්වය මිනිසාගේ ජීව විද්‍යාත්මක වුත්  සමාජ විද්‍යාත්මක වුත්  හුදු මානවීය අවශ්‍යතාවයක් වීම  හේතුකොට ගෙන එම අතිශය පෞද්ගලික වු අත්දැකීම වඩාත් මෘදු ලෙස ප‍්‍රකාශ කිරීම අසීරු තත්ත්වයන්ට පත් ව තිබේ. මිනිස් සිත් සතයන්හි පවතින මෙවැනි අතිශ්‍ය පෞද්ගලික වු කරුණු  මනා ලෙස  ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි ප‍්‍රබල මාධ්‍යයක් වශයෙන් ගීතය  හැඳින්විය හැකිය. 

ලිංගිකත්වය නම් වු  මානව අවශ්‍යතාවය සුන්දර ලෙස ඉදිරිපත් කිරීමට ගීතය  නම් වු ප‍්‍රබල නිර්මාණය කාර්යයට හැකියාව ලැබී තිබේ. ගීතය මඟින් ලිංගිකත්වය ඇතැම් විට ඍජුව  ප‍්‍රකාශ කරන අතර  තවත්  විටෙක එය  වඩාත් ආකර්ශනීය ලෙස ව්‍යංගාර්ථයෙන්  ශෘංගාර රසය  ඉස්මතු වන ආකාරයට  හෙළිදරවු  කරනු ලබයි. 

ගොවිදුනි  මේ සිරි  යහනේ 

විරගී වැලහින්නකි මා 

රති කෙළ රමණි 

සිහි කර පැරණි 

යමුනා  නදිය ද කැළැඹේ........ 



පියයුරු  මඩළේ තැවැරුණු දෙතොලේ 

සුවඳින්  සැනහෙන් මිහිරේ

ගී සර  මෙන් හද දවමින් 
 තුරු සිදුරින් එයි  සඳකැන් 
යෝනන් නැළවෙන මේ රෑ
වියොවෙන් කැළඹෙයි රාධා ........

වස්දඬු රාවේ හඬ අනුරාගේ 
පැතිරෙයි  දෙසවන් පෑරේ 
මදරදගෙන් ලැබ රිදවුම් 
තුනු සපුවෙන් තැන ගැලවුම් 
සලෙලූන්  වෙහෙසන මේ රෑ
වියොවෙන් කැළඹෙයි රාධා ........


මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ගේය පද රචනය කර  මොහාන්රාජ් මුත්තුසාමි සංගීතවත් කර නන්දා මාලනී විසින් ගායනා කරන මෙම ගීතය තුලින් විප්ප්‍රලම්බන ශෘංගාරය පිළිබඳ අපූර් ව වු කතිකාවන්  ගොඩනංවා තිබේ. ස්ත‍්‍රී පුරුෂයින්ගේ වෙන් වීමේ  වියෝගය  කෙතරම්  දුක්බර ද සෝබර ද යනු ඔබ දන්නෙහිද ? එය  එතරම්  දුක්බර හා සෝබර වන්නේ ඇයි? ඔවුන්ගේ එක්වීම සංයෝගය, සම්භෝගය එතරම්ම ආශ්වාදනීය නිසා නො වේද? සැප සම්පත් ආශ්වාද යනාදියෙන් එනම් සුඛයෙන් හා ප‍්‍රගර්ශයෙන් වියෝවීම නිසා දුක්ඛය හා ශෝකය හට ගනී. විප්ප‍්‍රලම්භත ශෘංගාරය  පෙර දී තමා ලද ආශ්වාදය අද නො ලැබෙන වේදනාව මුලික කොට ගෙන ඇති වන්නක් වන අතර  පැරණි මතකයේ,  වේදනාවෙන්  සිහිපත් කරමින්  යළි යළිත්  එම  හැගුම්වල  ගැවෙසෙන්නියකගේ  ශෝකාකලාපය  මෙ මඟින්  විවරණය  කරනු ලබයි. මේ ගීතයේ ගැබ් වන්නේ එම වේදනාවයි. ඒ  එම  වේදනාවේ ද ගොරතර අවධියයි.


 ජයදේවයන්ගේ ’ගීත ගෝවින්දය’’ ගීතවත්  ආකෘතියක්  ඔස්සේ සංස්කෘත ඛණ්ඩ කාව්‍ය  භාවිතා කරමින් රාධා - ක‍්‍රිෂ්ණා  පෙම් පුවත ඉදිරිපත් කරන්නා  සේම  සුනිල් ආරියරත්නයන්  පෙරදින ක‍්‍රිෂ්ණා හා විඳි පෙම් සුව අහිමිව වැළපෙන  රාධාගේ විප්ප‍්‍රලම්භන  ශෘංගාරය  ගීතයට  පෙරලා තිබේ.  ගොවිදු යනු ක‍්‍රිෂ්ණා ය. කලෙක ඔහු  සිය  බිරිය වු  රාධාව  හැර පියා ගොස් ගෝපීන් සම`ග වස්දඬු වයමින්  යමුනා නදී තීරයේ  රමණයෙහි යෙදෙයි.  එකල්හි  රාධාව තුල උපන් ප‍්‍රබල වේදනාව  පවසමින්  ඇය කියන වදන්වල ආකාරයෙන් ගීතයෙහි ඉදිරිපත් වේ. 

ක‍්‍රිෂ්ණා ගොපල්ලෙකි. රාධා ඔහු ආමන්ත‍්‍රණය කරන්නේ ‘‘ගොවිදුනි’’ යනුවෙනි. ආසියානු ගැහැනිය ස්වාමියා සිය දෙවියන් සේ සළකයි. හිමි ළග නැති  වියෝවින් වැළපෙන නමුත් ඇය හදවතින් ම ඔහුව ම ප‍්‍රාර්ථනය කරයි. යහන ඇගේ  රාගය  වඩවයි. යහන සිරි යහනක් වුව ද ගොවිදුන් නැති කල්හි එය රාධාවට කටු යහනක් ම නො වන්නේද?  වැලහින්න යන්නෙන් ඇය තුල ගොවිදුන් හා  රමණ  ගෝපීන් කෙරේ ඇති වු කෝපය පැවසේ. 
යහන දකින සෑම  මොහොතකම ඇයට ඔහු  හා රමණයේ  යෙදු  ආකාරය සිහිපත් කරවයි. එදා ඔහු හා විඳි රති සුවය  ඇයගේ ඉඳුරන් ඇවැසි කරවනු ලබයි. සිය ආදරයේ පරම රමණිය වු  එම  මොහොත පිළිබඳ ආවර්ජනයක යෙදෙමින්  රාධා  වැළෙපෙන්නීය.

    ‘‘  ගොවිදුනි  මේ සිරි  යහනේ 
        විරගී වැලහින්නකි මා
         රති කෙළි රමණි 
        සිහි කර පැරණි 
        යමුනා නදිය ද 
        කැළඹේ.....’’  

යමුනා නදිය කැලඹෙන්නේ ස්වභාවිකත්වය හේතුවෙනි. එහෙත් එය ඔවුන්ගේ  පෙර  රති කෙලි සිහි කිරිමෙන් ඇය තුල ඇති වන පේ‍්‍රරණය සඳහන් කරයි. ඇගේ කැලඹිම ම මෙහි නො හැ`ගවේද? 
ලා සඳකැන් වැටී සුළං ධාරාවන් සම`ග එකිනෙක මත ගැටෙමින් යමුනා නදිය දිය රළ  කැළඹෙන්නාන් මෙන් ක‍්‍රිෂ්ණා  සමඟ ගෙවු ආදරයේ සොදුරු  සුයාමයන් හදපත්ලෙන් ම  රමණයේ  ආශ්වාදය නැවත වතාවක් විඳීමට ඇයට පේ‍්‍රරණයක් ලබා දෙයි.


රාත‍්‍රී සුලං ධාරාවෙන් කැළඹෙන ගංදිය සැබැවින් ම නිසලය.  රාධාගේ සිත තුළ නැඟි ඇති රාගික හැගීම් ක‍්‍රිෂ්ණා කෙරෙහි උපන් ආදරයත් සම`ග බිහි වුවක් බව එයින් ගම්‍යමාන කරවයි.  හුදෙක්  තම ලිංගික ආශාවන්  සංතෘප්ත කර ගැනීම සඳහා පමණක් වන  පටු රාමුව  තුළ ඇයගේ හැ`ගීම් සීමා වී නොමැති බව අදහස් කළ හැකිය. රාධා  රති සුවය අපේක්ෂා කරන්නේ  ශාන්ත  ස්වරූපයකිනි. එක් එක් පුද්ගලයාගේ මානසික අවශ්‍යතාවය මත රමණය ‘‘ යමුනා නදිය කැළමෙන්නාක් සේ ’’ නිස්කලංක ස්වරූපයෙන් ගන්නා අතර  ඇතෙමෙකුගේ  එය ‘‘රණ පිටියක්’’ මෙන්  ආවේගශීලී හා ප‍්‍රචණ්ඩ  ස්වරූපයක් ගනී. 
ස්ත‍්‍රී දේහය  පුරුෂයෙකුගේ  ආශාවන් හැගීම්  පුබුදුවාලන උත්පේ‍්‍රරණයයි. හිමාල කඳු පෙදෙසේ පිපෙන  නාරිලතා මල් දැකීමෙන්  තවුස් සිල් බිඳෙන්නේ මෙම  උත්පේ‍්‍රරණය  හේතුවෙනි.  ආත්මා ලියනගේ  විසින්  ගායනා කරනු ලබන  ‘‘ලියතඹරා’’  ගීතය  එයට කදිම  නිදසුනකි. 

‘‘ලියතඹරා  මුදු  කුසුමකි ඈ. 
තවුසන්ගේ  දැහැනේ සම  බිඳිනා’’ 

පියයුරු ස්ත‍්‍රී ශරීරයේ  කාමෝද්දීපන  අංගයක් වන  අතර කුඩා  දරුවා සිට  වැඩිහිටි මහල්ලා දක්වා  ස්ත‍්‍රී පියයුරු  පහසින් සැනසෙයි. කුඩා දරුවා තම  මව් දෙතනේ එල්ලී  කිරි උරා  බොමින් ආදරයෙන් පරම සුවයක් ලබන අතර ම ඉන් ලිංගික ආශ්වාදයක් ද  තම පෙම්බරියගේ පපුතුරේ විඳින සුවය කි‍්‍රෂ්ණා ද රාධා වෙතින් එලෙසින් ම ලබාගත් බව දැක්වේග යමක් පිවිතුරු නම් ඉන් නැෙඟන්නේ සුගන්දයයි.

    පියයුරු මඬ⁣ලේ තැවරුණු දෙතොලේ 
    සුවඳින් සැනහෙන් මිහිරේ ”

රාධා තුලින් ඔහු ලබන්නේ එම පිවිතුරු බවේ සුගන්ධයයි. දරුවෙක් සතුටට වේදනාවට හෝ  බියට තම මවු පපුතුරේ උණුසූම සුවඳ සොයා පැමිණෙන්නාක් මෙන් පෙමිිබරෙකු ස්වාමියෙකු තම සතුට වේදනාවේ දී සොයා එන්නේ තම පෙම්බරියගේ පතිනියගේ ළය මඬලයි. කි‍්‍රෂ්ණා ද එසේම ය. තම සතුට දුක තුළ දී රාධාගේ පහස පතයි. රාධාට තම නිරුවත් පපුව විලත් වී නමි එ් විල මත පිපෙන නෙළුම කි‍්‍රෂ්ණා විය. සෑම රැයකම එ් නෙළුම තම ළය මත එලෙසින් ම පිපේවා යි ඇය පැතුවාය. එය අහිමි ව යාම තුල ඇය සිටින්නේ වේදනාවෙන් දැවෙමිනි.
ලෝකයේ තමා විශ්වාස කල පුද්ගලයා තම ආත්මය හා ගණුදෙණු කරද්දී ඔහුට වඩා කෙනෙක් ඇයට නැත. තම ආත්මය හා ගණුදෙණු කරන ඔහු ම තමාට ආරක්ෂාව සලසාවී යැයි ඇය සිතයි.පතයි. ලිංගික එක්වීමක දී කාන්තාව ලබන වේදනාව හා තම සිරුරින් ගලා යන රුධිරය ඇය ශාරීරිකව වේදනාවට ලක් කල ද ඉන් ඇය මානසික සුවයක් ලබයි.

හී සර මෙන් හද දවමින් 
   තුරු සිදුුරින් එයි සදකැන්
   යෝනන් නැලවෙන මේ රැු
    වියෝවින් කැළඹෙයි රාධා ”

ලිංගික  එක්වීමක දී  ස්ත‍්‍රියකගේ  සිරුරින් ගලා යන  රුධිරය  ඉතාමත් සෞම්‍ය ලෙස දැක්වීමට,  

’‘ තුරු  සිදුරින්  එයි  සඳකැන් ’’ 

යෙදුම  කදිම  උපමාවක්  වෙයි. සැබැවින් ම  සඳකැන්  සුවදායකය. සෞම්‍ය   සඳ එළියේ  පවතින අහිංසක බලාපොරොත්තු ව  ස්ත‍්‍රියකගේ  සිත් සතන්  තුල ද  එම  මොහොතේ පවතින  බව දැක්වීමට  නිර්මාණකරුවා යොදා ගෙන තිබෙන  උපමාව  ඉතාමත් සාර්ථක  වේ. 
ගීතයක  පවතින  රිද්මය හා සසඳන  කළ නිර්මාණකරුවාගේ උත්සාහය සාර්ථකය. 

රාති‍්‍රය  වනාහි බොහෝ දෙනොගේ නිදා සිටින මනස අවධි කරවන්නකි. තුරුණු සිත් සතන්  රාත‍්‍රිය උදාවීමත් සම`ග පිබිඳ තම  යටපත් වු  හැගුම්වල  සුවයෙන්  සැනසුම සොයයි. 

වස් දඬුරාවේ  හඬ අනුරාගේ  
   පැතිරෙයි දෙසවන් පෑරේ
   තුනු  සපුවෙන් නැත ගැලවුම්
   සලෙලූන් වෙහෙසන මේ ?
   වියෝවින්  කැළඹෙයි  රාධා.... ”

ක‍්‍රිෂ්ණා ගොපල්ලෙකි.  ඔහු අත  නිරතුරුව ම  පවතිනුයේ  බටනලාවයි. ගීතයෙහි  සංගීත නිර්මාණ දෙස අවධානය  යොමු කරන විට  මොහාන්රාජ්  මුත්තුසාමි ඒ සඳහා ප‍්‍රබල ව යොදා ගෙන ඇත්තේ බටනලා වාදනයයි.  බටනලා වාදනය  ක‍්‍රිෂ්ණා හා  වස්දඬු රාවයත් අතර සම්බන්ධය  ගෙන හැරපෑමට යොදා ගැනීමකට වඩා ඉන් නැගෙන අර්ථය වෙනස්  ස්වරූපයක් ගනී.  සාමාන්‍ය වශයෙන් ගත් විට  බටනලා  වාදනය  බොහෝ විට  ඇසෙන්නේ  හිරු අවරට යන  සෑදෑ සමයේ ය. ගොම්මන් ක`ඵවර සම`ග මුසු ව එන වස්දඬුරාවය මිනිස් සිත් සතන්  තුළ රාගික හැඟීම් වර්ධනය කරවයි. ඇතැම් විට ක‍්‍රිෂ්ණා රාධාට රමණයට ආරාධනාවක් ගෙන එන්නට ඇත්තේ වස්දඬු රාවය සමඟ විය හැකිය. 
ගෝවිදු  ගෝපීන් සමග රමණයෙහි න`ගන වස්දඬු රාවය රාත්‍රි අඳුර අතරින් නිහැඬියාව බිඳිමින්  ඇසේ. එය ඇගේ හද තුල අනුරාගය හඟවන නමුදු ඒ අනුරාගය සම්භෝගයෙන් හෝ කිරිම නිසා  දෙසවනට  අනින යවුල් පහර මෙනි. සිය ස්වාමියා ළග නොමැතිව යටපත් කරගෙන සිටින අනුරාගික හැ`ගීම්  වස්දඬුරාවය සමග මතුපිටට  පැමිණිම  සිදුවෙයි. 
රාධා රුමතියකි. යොවුන්වියේ පසුවන තරුණියකට රූ සපුව ආභරණයකි. එහෙත් හිමි රැකවරණය  අහිමි වු තරුණ  බිරිඳකට   රූ සපුව  කටු  ඔටුන්නකි.  තුනු සුපුව යනු යොවුන් රූ සපුවයි. පුර්ණ  පයෝධර  පෘථුල නිතම්බ, රත්නාධර යනාදියයි. 

 තුනු  සපුවෙන් තැන ගැලවුම්

යනුවෙන් පෙම්වතා විසින් පරිභෝග නො කරන කල්හි ඒවා උපදවන අඛණ්ඩ වේදනාව  ධ්වනිත වේ. මදරද යනු කාම දේවයායි. මේ රැයෙහි කාමී යෞවන යොවනියෝ කාම සම්භෝගයෙහි වෙහෙසෙති. එය සොඳුරු වෙහෙසකි. එහෙත් රාධා වියෝවෙන් කැළඹේ.
ආදරයේ දී ගැහැනියකට තරම් පිරිමියෙකුට පරිත්‍යාගශීලී විය නො හැකිය.  පේ‍්‍රමය නම් වු කර්කෂ  භාවනාවේ දී ගැහැනියකට කළ නො හැකි දෙයක් නැත. ආදරය පිරිමියෙකුගේ ජිවිතයේ එක් කොටසක් පමණක් බවත් ගැහැනියකට පේ‍්‍රමය නම් තම මු`ඵ ජිවිතය ම පමණක්  බවත්  වු අදහසක්  සමාජයේ අදටත් පවතිනුයේ  මේ නිසාය.  පේ‍්‍රමයේ ඇති  ලොව්තුරු බව  පිරිමියාට  කලින්  පසක් කර ගන්නට ඇත්තේ ගැහැනියයි.


මෙම නිර්මාණය පුරා ම නිර්මාණකරුවා ගෙන එන්නට තැත් කරනුයේ රාධාගේ  විප්ප‍්‍රලම්භත ශෘංගාරයයි. පේ‍්‍රක්ෂකයා දකින්නේ රති සුව නො ලබමින් තැවෙන හඬන ඇය  පමණි. ගැහැනියකට  ආදරය  ජිවිතයක් වන්නා සේම එම ආදරය මොහොතකට හෝ දුරස් ව ගියහොත් ඇගේ  හදවතෙහි  සුව කළ නො හැකි වේදනාවක් හටගනී. එදා සමාජයේ මෙන් ම  අද සමාජය තුළ ද ස්ත‍්‍රියකගේ හදවත් තුල ආදරය නිසා හටගත් ගැඹුරු තුවාල දක්නට ලැබේ. එම තුවාල ස්ත‍්‍රියකගේ මට සිලිටි ඉස්සුණු ළැම දෙස බලන කල නො පෙනෙයි. ඇතැම් නිර්මාණකරුවන් මෙම  යථාර්ථය මැනවින් අවබෝධ කරගත් බව ඔවුන්ගේ නිර්මාණ තුලින් ගම්‍යමාන කරවයි. පේ‍්‍රමසිරි කේමදාස අතින් ලියවුණු ” ලදුනේ ” ගීතයෙහි මේ සම්බන්ධ ව  පැහැදිලි ලෙස දක්වා තිබේ.

‘‘ ළැම  පමණක්  ලොවට පෙනෙන
  ළය නො පෙනෙන  ළදුනේ ” 

බොහෝ දෙනා ගැහැනියකගේ ඇතු`ඵ පපුව දෙස බලන්නේ නැත. ඒ නිසා ම එහි වු  පේ‍්‍රමයේ ගැඹුරු තුවාල දකින්නේ ද නැත. බොහෝ දෙනා දකින්නේ ගැහැනියකගේ මටසිලිටු  පියයුරු පමණි. සමාජය කරන එක ම දෙය ඒවා නිරුවත් කිරීමයි. 

නමුත් මෙම නිර්මාණ කාර්යය තුළ නිර්මාණකරුවා රාධාගේ විප්ප‍්‍රලම්භන  ශෘංගාරය තුලින් සමාජ යථාර්ථය ව්‍යංගාර්ථයෙන් දැක්වීමට උත්සාහ දරා තිබෙන ආකාරය මෙම නිර්මාණය දෙස ගැඹුරින් නෙත් හෙලා බලන කල ප‍්‍රත්‍යක්ෂ  වේ.

Tuesday, July 24, 2018

මව්බස වැනසීම



ජන කොට්ඨාශයක ප්‍රකාශන මාධ්‍යය භාෂාවයි. එහි ජන කොටසට අයත් සංස්කෘතිය සිරිත් විරිත් සාරධර්ම පළ කරන්නේ එහි භාෂාවෙනි. අත්දැකීම් ඉතිහාස අනන්‍යතාව පළ කරන්නේ පළකරන්නේ පරපුරෙන් පරපුරට ගෙන සම්ප්‍රදායන් සුහදතා ආදරය සෞභාග්‍යය පළ කිරීම ආදී සියල්ල හුවමාරු කරන්නේ එම බසිනි. එම වර්ගයා තම හැඟීම් අදහස් බවට පත් කරන්නේත් ලියන්නේ කියවන්නේ භාෂාවෙනි. භාෂාව මව බඳුය. තම බස මව්බස ලෙස හඳුන්වන්නේ එබැවිනි. මව්බස  කෙලෙසීම මව කෙළෙසීමකි. මව්බස දූෂණය කිරීම මව කිලිටි කිරීමකි. සමාජයක් රඳා පවතින්නේ භාෂාව මඟිනි. 
එහි අනන්‍යතාවය ආරක්ෂා කිරීම සංරක්ෂණය කිරීම නිරතුරුවම විය යුත්තකි. නො එසේනම් ජාතික පැවැත්මක් නැත. ජාතිය හා භාෂාව වෙන් කළ නොහැකිය. එය ගසට පොත්ත මෙන් එකිනෙක තදින් බද්ධ වී පවතී. වී අැටය පොත්තෙන් රැකෙයි. පොත්ත නො වටනේ යැයි  හෙළා දැකිය නොහැකිය. ජාතිය ද ආරක්ෂා කරන්නේ භාෂාවයි.  ජපන් ජාතිකයන් ඉංග්‍රීසි දැන සිටියත් ප්‍රසිද්ධියේ කතා කරන්නේ ජපන් බසෙනි. රුසියානුවෝ එසේ රුසියන් බස කතා කරති. සුද්දන් ඉංග්‍රීසි කතා කරන්නේ එය ඔවුන්ගේ බස නිසා ය. සිංහලයන් ඉංග්‍රීසි කතා කතා කිරීමට කැමැත්ත දක්වන්නේ ඉංග්‍රීසිය සුද්දන්ගේ නිසාය. සුද්දන්ට ඇති අභිවාදනය නිසාය. පරගැති චින්තනය නිසාය. ඒ තුළ හීනමානයක් මෙන්ම දුප්පත් මානසිකත්වය මානසිකත්වයක් දක්නට ලැබේ.  



ඉංග්‍රීසි දැනුම අත්‍යවශ්‍ය බව අවිවාදයෙන් පිළිගත යුතුය.තරඟය ස්වභාවිකවම මානව ශිෂ්ටාචාරය පවතින්නකි. එහෙත් සෝචනීය කරුණ නම්  ඉංග්‍රීසි භාෂාව ද විකෘති කරමින් අමුතුම වූ භාෂා රටාවක් කතා කිරීමයි. වර්තමානය කෙරේ අවධානය යොමු කරන විට සිංහල බසට සිදුව ඇති තත්ත්වය ඉතාමත් ඛේදනීය ය. අක්ෂර වින්‍යාසය වැරදි ටොන් ගණනකි. හරබර බවින් තොර නුවරැගේ සංකර බස් බහර සමාජය තුළ රජයයි.
"පට්ට,නෝන්ඩි,කෑල්ල,බඩුව,මළ පැනලා" ආදී වූ අමුතුම වාග් ව්‍යවහාරයක් පෙර පාසල් දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා භාවිත කරයි. ගෝලීයකරණය සමඟ එහි යහපත් ප්‍රතිඵල මත නො රැදෙමින් ලාභ පුහු මානසිකත්වය කෙරේ ළං වුවහොත් කැඩිච්ච සිංහල නිරතුරුවම සමාජය තුළ අසන්නට ලැබෙයි. මිනිසුන් බොහෝ දේ කතා කරති.
එහෙත් ජනතාවට අමතන විට එහි ශිෂ්ට බවක් තිබිය යුතු බව කන මිරිකා කියා දෙන්නට පැසුනු බුද්ධිමතුන් නැතිකම මෙන් ම කියන දේ බීරි අලින්ට වෙණ වැයීමක් වීම ජාතියේ අවාසනාවකි. 



නෑ දෙයක් වහරන්නට තැන් ඇත. රටකට ජාතියකට අමතන විට හැදියාව කියාදීම හා හැදියාව පැහැදිලි වන ලෙස හැසිරීම ගැන ද  කියා දීම අවශ්‍යය. අලුත උපන් දරුවාගේ සිට වයස්ගත මහල්ලා දක්වා හරබර බවින් තොර සංකර බස් වහර පැතිර තිබීම ජාති දවාචකයකි. සමස්ත ජනතාවම බුද්ධිමත් භාවයෙන් තොර වූවන් ලෙස ඇගයෙන හරසුන් සංකර භාෂා ව්‍යවහාරය පාලනය කිරීම භාෂාවේ ප්‍රගමනය පමණක් නො ව සංස්කෘතියේ පුනරුදය පතන්නන්ගේ ද වගකීමකි.

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...