Saturday, June 23, 2018

රන් හුයෙන් බැඳෙන්නට පෙර............






සිදුහත් කුමරු යශෝදරාවට කෙතරම් ආදරේ පෑවෙහි ද ඒ හා සමාන ආදරයක් තමාට හිමි වනු දැකීම විවාහයට පිය නගන සියල්ලන්ගේ පවිත්‍ර බලාපොරොත්තුවක්. ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ කොන්දේසි විරහිත ආදරයක් විවාහය වැනි දීර්ඝ ගමනකට තමා හා එක්ව යන්නට තෝරාගත් තැනැත්තා ඒ සඳහා නියම සුදුස්සා ද යන්න එක් වරක් නොව සිය වරක් සිතා බැලීම කළ යුත්තක්.

සැබෑ විවාහයේ භූමිකාව කවරාකාර ද ?

ස්ත්‍රියක් සහ පුරුෂයෙක් නීත්‍යානුකූල වශයෙන් ලිංගිකව එක් වී ගොඩ නඟන ජීවිතය විවාහය ලෙස සරලව හැඳින්විය හැකිය. පෝරු මස්තකාරූඪ වී අතපැන් වක් කිරීමෙන් සිදුවන චාරිත්‍ර වාරිත්‍රවලින් සිදුවන්නේ විවාහයෙන් හතරෙන් එකක් පමණයි. විවාහයෙන් හතරෙන් තුනක් පවතින්නේ භෞතික නොවන  විද්‍යාමාන නො වන බැඳීම්. මෙහි පවතින සුවිශේෂී කරුණ නම් මේ සියල්ලෙහි රඳා පැවැත්ම තීරණය වන්නේ තමාට හිමිවන සහකරු හෝ සහකාරිය මත වීමයි.

ආධ්‍යාත්මික වශයෙන් ගැළපීමයි වඩා වැදගත්.

විවාහයේ දී වඩා වැදගත් වන්නේ දෙදෙනා අතර පවතින අන්‍යෝන්‍ය අධ්‍යාත්මික ගැලපීම. එකිනෙකාගේ සිතිවිලි කතා කතාබහ හැසිරිම් රටා අවශ්‍යතා බලාපොරොත්තු විශ්වාස මනා ලෙස සුසංයෝගය වීම මත දිගුකාලීන සාර්ථක විවාහයකට ගමන් කළ හැකියි. එකිනෙකාට ප්‍රේම කිරීමට ප්‍රථම මිතුරන් සේ ඇසුරු කිරීමට ඉඩ කඩක් ලැබීම අතිශය වැදගත්. එහිදී තමා ඉදිරිපිට සිටින පුද්ගලයා සතුවන වන පෞරුෂත්ව ගුණාංග සිතුම් පැතුම් කෙරේ තමන් කෙතරම් ඇල්මක් දක්වන්නේ ද නැද්ද යන්න අවබෝධ කරගැන්මට පුළුවන්. 
ප්‍රේම කරන කාලය ඇතුළත මිනිසුන් වර්ග දෙකක් හදුනාගත හැකියි. එක් කොට්ඨාශයක් වන්නේ තමන් කැමති පුද්ගලයින්. අනෙක් කොට්ඨාශය තමන් ආදරේ කරන පුද්ගලයින්. තමන් කැමති පුද්ගලයාටම ආදරය කරන ලැබුණොත් එය ඉතාම වටිනවා. ඊට හේතු වන්නේ ආධ්‍යාත්මික වශයෙන් ඔවුන් එකිනෙකා අතර පවතින ගැලපීම ඉහළ වීමයි. භෞතික සාධක කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රථම අභෞතික සාධක මනාව හඳුනා ගැනීම වැදගත්.

සම අධ්‍යාපනය ගැටුම් අවම කරයි.

විවාහයට සුදුසු සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේදී බාහිර වශයෙන් බැලූ විට අධ්‍යාපනය දෙදෙනාටම සමව පැවතීම අවශ්‍යයයි. සම අධ්‍යාපනයක් ලබා තිබීම විවාහ ජීවිතය පවත්වා ගැනීමට පහසුවක්.





වයස් පරතරය නොව වයස සමග ඇතිවන පරිණත භාවයයි වැදගත්.

ලාංකීය සංස්කෘතික රටාවට අනුව විවාහයේ දී ස්ත්‍රියට සාපේක්ෂව පිරිමියා වැඩිමහල් විය යුතුයැයි සම්මතයක් පවතී. මීට හේතු වන ජීව විද්‍යාත්මක කරුණ නම් මාතෘත්වයත් සමග පිරිමියාට සාපේක්ෂව කාන්තාව වඩා ඉක්මනින් වියපත්භාවයට පත්වීමයි. මේ සඳහා බලපාන අනෙක් කාරණය නම් දිගු කාලයක් ජීවත් වීමේ සම්භාවිතාවය අතින් ස්ත්‍රිය පුරුෂයාට සාපේක්ෂව ඉදිරියෙන් සිටීමයි. 
වැඩිමහල් විවාහයේ දී එකී ගැටලූව උද්ගත වන අවස්ථාවන් හඳුනා ගත හැකියි. ඊට හේතු වන්නේ ස්ත්‍රියට දිගු කලක් තනිකඩව ජීවත් වීමට සිදුවේ යැයි පවතින අනියත බියයි. සමවයස් විවාහයේදී එම ගැටළු උද්ගත නොවන ලබවට ඇතැමුන් විවිධ තර්ක ඉදිරිපත් කිරීම දක්නට ලැබෙන්නක්. නමුත් විවාහයේදී මේ සියල්ල ද්විතීක සාධක. වඩා වැදගත් වන්නේ  වයස් පරතරය නොව වයසත් සමඟ ඇතිවන පරිණතභාවයයි.

සමාජ ආර්ථික හා සංස්කෘතික ගැලපීම අවශ්‍යමද?

විවාහයට සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී මුදල් ප්‍රබල සාධකයක් ලෙස ගත යුත්තක් නොවෙයි. මුදල මත විවාහය රඳා පවතින බව ප්‍රකාශ කළ නොහැකි කරුණක්. විවාහයේ පදනම මුදල මත තීරණය වන්නේ නම් පොහොසතුන් සියල්ල සතුටින් ජීවත් විය යුතුයි.
නමුත් අද සමාජයේ දික්කසාද වීම් අතරින් බහුතරයකට හේතුව ආර්ථිකමය හේතු නොව අනොන්‍ය අවබෝධයෙහි පවතින මඳකමයි. මනා ආධ්‍යාත්මික ගැළපීමක් පැවතීම තුළ ආර්ථික හා ස⁣මාජීය සාධක ගොඩනංවා ගැනීම අපහසු තත්ත්වයක් නො වේ.

විවාහය එක්තරා ආකාරයක පූජා විධියක්. අධ්‍යාත්මික බැඳීමක්.පොදු පිළිගැනීමක්. මෙය මතුපිටින් ස්පර්ශ කළ හැකි දෙයක් නො වේ. යුග දිවිය වඩා ආදරණීය ලෙන්ගතු බැඳීමක් බවට පත් කර ගැන්මට මෙකී ගුණාංගයන්ගෙන් පරිපූර්ණත්වයට පත් දෙදෙනෙකුගේ සුසංයෝගය අතිශය වැදගත්.

Sunday, June 17, 2018

අඩු වයස් විවාහය ගැටුමක ඇරඹුමක්ද?






ස්ත්‍රියක් සහ පුරුෂයෙක් පවුලක් වශයෙන් එකට ජීවත් වීමේ පරමාර්ථයෙන් ඇති කර ගන්නා සබඳතාව විවාහය ලෙස සරලව හැඳින්විය හැකිය. සුදුසු වයසට පෙර විවාහය හා පසු විවාහය පුද්ගලයාට මෙන් ම සමාජය කෙරෙහි ද ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීමට සමත් ව ඇත.පිළිවෙළක් නොමැති ලිංගික සබඳතා මඟින් සිදුවන්නේ  සමාජයේ පවතින සංවිධානාත්මක භාවය බිඳවැටීමයි.සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයට අනුව ස්වාමිපුරුෂයා හා භාර්යාව වශයෙන්  නීත්‍යානුකූලව සිදු වන පිළිගැනීම විවාහය ලෙස සරල ව හැඳින්විය හැකි ය. පිළිගත් ලිංගික සබඳතා හා එහි ප්‍රතිඵල කල් පවතින සමාජ සබඳතා වලට හේතු සාධකයක් වේ. එබැවින් සමාජය තුළ තුල විවාහයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.



විවාහයට සුදුසුම වයස ලෙස හඳුන්වන්න පුළුවන් කුමන කාල සීමාව ද ?


අතීතයේ පැවති කෘෂිකර්මය  මුල් කොට ගත් ලාංකීය සමාජ ජීවන රටාව තුළ අවශ්‍යතා සරල මට්ටමක පැවතීමත් 16- 25ත් අතර  ස්ත්‍රී සාඵල්‍යතාවය ඉහළ අගයක් ගැනීමත් යන කාරණා මත ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම අඩුවයස් විවාහයට යොමු වීම සිදුවිය. ආර්ථිකය විවාහයක පැවැත්ම තීරණය කරන ප්‍රබල සාධකයක් වීම හේතුකොටගෙන  ඒ සඳහා හොඳ රැකියාවක නිරත වීම අත්‍යවශ්‍ය වූවකි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයම ඊට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගෙන විවාහයට ගමන් කිරීම කළ යුතුයි. ඒ සඳහා සුදුසුම කාලය වයස අවුරුදු 25 ත් 30 ත් අතර කාල පරිච්ඡේදය වේ. මේ සඳහා සඳහා බලපාන ප්‍රධාන හේතුවක් ලෙස ස්ත්‍රියගේ සාඵල්‍යතාවය ඉහළ අගයක් ගැනීම මෙන්ම ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැන්මට ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම හැකියාව පවතින කාලසීමාවක් වීමත් පෙන්වා දිය හැකිය.


තරුණ ප්‍රජාව අඩු වයස් විවාහයට යොමු වන්නේ ඇයි ?

අධ්‍යාපනයේ අවම බව අඩුවයස් විවාහය සඳහා බලපෑම් කරන ප්‍රධාන සාධකයක්. පාසල් අධ්‍යාපනය අතරමඟ කඩා වැටිම පදනම් කොටගෙන තරුණ පිරිස් ක්ෂණික විවාහ සඳහා යොමුවීමත් පූර්ව ලිංගික සබඳතා හේතුවන සිදුවන අවිවාහක මාතෘත්වය ලිංගික අධ්‍යාපනය සම්බන්ධව පවතින අනවබෝධය ද මීට මූලික හේතූන් ය. යොවුන් වියේදී ඇතිවන හැඟීම් වලට වැඩි බරක් දී විවාහ වීම තුළ සමාජ ගැටුම් නිර්මාණය වීම සිදුවෙයි. ඉන් අනතුරුව එතැන පවතින්නේ ඝට්ටනයකි. දෙමව්පියන්ගේ බලපෑම හා මැදිහත් වීමත් අඩුවයස් විවාහයට බලපාන තවත් කරුණක්. රටේ පවතින අධ්‍යාපන ක්‍රමයේ පසුගාමිත්වය මීට තවත් හේතුවක් ලෙස හැඳින්විය හැකි ය. යොවුන් වියට පත්වීමත් සමඟ විරුද්ධ ලිංගික ආකර්ෂණය ආදරණීය හැඟීම් ඇතිවීම ඇති වීම සාමාන්‍ය කරුණක්. නමුත් පවතින අධ්‍යාපන රටාව සමඟ ඔවුන් එම හැඟීම් යටපත් කර ගැනීමට දරන ප්‍රබල උත්සාහයක අවසානය ක්ෂණික විවාහයක් විය හැකියි.



අඩු වයස් විවාහය නිසා ඇතිවන ගැටුම් අවම කර ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?


මූලික වශයෙන් කළ යුත්තේ  ආකල්ප වෙනස් කිරීමයි. ඒ වගේමයි ලිංගික අධ්‍යාපනයක් ලබා දීම. පුළුල් උපදේශන සේවාවක් ලබාදීමට කටයුතු කිරීම අතිශයින් වැදගත්. ඒ තුළින් සමාජයෙහි අඩු වයස් විවාහ මඟින් සිදුවන ගැටුම්කාරී තත්ත්වය අවම කර ගැන්මට අවස්ථාව උදා කර ගැනීම අපහසු කරුණක් නොවේ.


Tuesday, June 12, 2018

යොවුන් ආදරයේ අවසානය සියදිවි නසා ගැනීම ද?




ආදරය කියන්නේ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඊට ලැබෙන පිළිතුරු එකිනෙකට වෙනස්.කෙනෙක්ට ආදරය ආත්මාර්ථකාමී හැඟීමක් වෙද්දි තවත් කෙනෙක්ට ඒ ආදරයම පරිත්‍යාගයක් වෙන්න පුළුවන්.විවිධාකාර වූ ආදරයන් අතර ලෝකය ලස්සන කරන සුන්දර ආදරයක් තමයි තාරුණ්‍ය ආදරය.තාරුණ්‍ය කියන්න සැබැවින්ම බොහොම දඟකාරී සුන්දර කාලයක්. නමුත් මේ ආදරයම ඔවුන් වටා පාරාවළල්ලක් වෙමින් තරුණ ජීවිත සිය සිය දිවි හානිකර ගැනීමට පෙළඹවීම ඛේදවාචකයක්.
සමාජ සංස්කෘතියට සාපේක්ෂවයි ආදරය හැඩගැසීම සිදු වන්නේ. ආසියාතික සමාජයට සාපේක්ෂව බටහිර සමාජය තුළ ආදරය වෙනස් හැඟීමක්. බටහිර සමාජයේ තාරුණ්‍යට ආදරය සැහැල්ලු හැඟීමක් වෙද්දී ආසියානු සමාජයේ පෙම්වතුන්ට ආදරය තමන්ගෙ මුළු ජීවිතේ ම බවට පත්වී ඇත. අප සමාජයේ ආදරයේ පාරිශුද්ධතාව පිළිබඳ දීර්ඝ ප්‍රේම කතා ලියවෙයි. ඒවා ඇතුළත සිටින පෙම්වතුන් බොහෝ අහිංසක චරිත. තරුණ තරුණියන් අතරේ මේ ආදරේ කියන්නේ හිමි කර ගැනීමක්ය යන ප්‍රතිරූපය එතනින් නිර්මාණය කර ඇත. මෙය ආසියාතික සමාජය පෙම්වතුන්ගේ මූලිකම ලක්ෂණයක්. එමෙන්ම ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ තරුණිය තරුණයාගෙන් කැමැත්ත ඇසීමට මුලින්ම පෙළඹෙන්නේ නැහැ. ගැහැණු ළමයා ඉස්සර වුණොත් අපේ සමාජය එය මහා බරපතළ වරදක් ලෙස දකී.
 ආසියාතික සමාජය සමාජය නවීකරණය කර කර ගමන් කළත් විසි එක් වැනි සියවසේ හිනිපෙත්තේ සිටියත් අභිචාර විධි වල වෙනසක් සිදු වී නොමැත. ආදරය යන සංකල්පයේ දී අදටත් සාම්ප්‍රදායික රටාවට මුල්තැන දීම දක්නට හැකි පැහැදිලි කරුණකි. ඊට හේතු වී හේතුවී තිබෙන්නේ භෞතික සංස්කෘතියට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි.
සාම්ප්‍රදායික සමාජය තුළ අවිධිමත් සමාජ පාලන උපක්‍රම වලට ප්‍රබල ස්ථානයක් හිමිව පැවතිණි. සංස්කෘතිකමය සිරිත් විරිත් වලින් සමාජයෙහි යම්කිසි ආකාරයක පාලනයක් නිර්මාණය වීම දක්නට පුළුවන. උදාහරණයක් වශයෙන් තරුණියකට තරුණයෙකු මුණ ගැසී කතාකිරීමට පැවතුණේ ඉතා සීමිත නිදහසකි. වක්‍රාකාර අවිධිමත් සමාජ උපක්‍රම හරහා තාරුණ්‍ය යම් පාලනයක රැඳවීමට එදා සමාජයට හැකියාව ලැබිණි.එම හේතුව මත ආදරය යන සංකල්පයේ රාගය මිශ්‍ර වූ අවස්ථාවන් ඉතා අවම විය. 




මෙහිදී මතු වන ප්‍රබල ගැටලුව නම් ලිිිංගික අධ්‍යාපනේ අවම බවයි. වැඩිවියට පත් වීමත් සමඟ ඇතිවන කායික මානසික වෙනස්කම් පිළිබඳ ඔවුන්ට පවතින්නේ අවම අවබෝධයකි. වැඩිවියට පත් වීමත් සමඟ දැනෙන හැඟෙන සිතුවිලි ආකල්ප පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැතිවීම මත ඔවුන් නිතැතින්ම ආදරයෙන් වල්මත් වීම හා අතරමං වීම සාමාන්‍ය තත්ත්වයකි.වත්මන් තාරුණ්‍යයේ ආදරය සිවදිවි නසා ගැනීමට තරම් සාහසික තත්ත්වයට පත් ව පවතී. මෙය පැහැදිලි වශයෙන් කායික හා මානසික සුරක්ෂිතතාව අහිමි වීම හා සමාජ සම්බන්ධතා බිඳ වැටීමෙහි ප්‍රතිඵලයකි. ආසියාතික සමාජයේ පෙම්වතුන් ඇත්ත ජීවිතයේ කිරීමට අපහසු දේ පිළිබඳ තෘප්තිමත්භාවයට පත් වන්නේ සිහින තුළ ජීවත් වීමෙනි.ඔවුන් තුළ ප්‍රේම සම්බන්ධතාවයෙහි අවිනිශ්චිත බව පිළිබඳ කිසිඳු හැඟිමක් නැත. පෙම් සබඳතාව බිඳ වැටුණහොත් කරකියා ගත හැකි කිසිවක් ඔවුනට නැති වීම ස්වභාවිකය. මෙහි ඇති ඛේදනීය තත්ත්වය නම් එවැනි අවස්ථාවක ඒ පිළිබඳ කතා කරන්නට විසඳුම් දෙන්නට කෙනෙකු ඔවුන් අසල නොමැති වීමයි. යමෙකු ගැටලුවට විසඳුම් නො දුන්න ද තම දුක වේදනාව අසා සිටීම පමණක් ම එම පුද්ගලයා හට යම්කිසි සහනයක් නිතැතින්ම හිමි වෙයි. එනම් පවතින තරඟකාරී සමාජ ක්‍රමය ඇතුළත කෙනෙකුට තවකෙකු වෙනුවෙන් වැය කරන්නට කාලය ⁣නැති වීම ඛේදනීය කරැණක්.සංකීර්ණ සමාජ සබඳතා ඇතුළත තාරුණ්‍යය සැහැල්ලුව ⁣අත්විඳින්නේ තම ආදරය තුළින්. එය අහිමි වීම ඔවුන්ට තවදුරටත් මානසික සුවය පිළිබඳ අපේක්ෂාවන් තබා ගැනීමට නොහැකි තත්ත්වයක්. 
තාරුණ්‍යය ස්වභාවයෙන් ම ආවේගශීලීයි. ඔවුන් ඕනෑම අවස්ථාවක ක්ෂණික ව තීරණ ගැනීමට පෙළඹෙයි.නූතන තරඟකාරී සමාජ රටාව තුළ ඔවුන් ක්ෂණික සියදිවි නසා ගැන්මට යොමුව පවතී. මෙවැනි අවස්ථාවක රටක මාධ්‍යයට පැවරී තිබෙන වගකීම සුළුපටු නොමැත. ආදරය අහිමි වීම මූලික කරගෙන සියදිවි නසා ගත් සිදුවීම් මාධ්‍ය තුළින් උලුප්පා පෙන්වීම අද විලාසිතාවක් වී ඇත. එයින් සිදු වන්නේ සමාජයේ අනිත් තරුණයන්ට ද එය සාමාන්‍ය කරැණක් බවට පත් වීමයි. ප්‍රථම පෙම විවාහ කර ගත යුතුයි යන සිතුවිල්ල ආසියාතික සමාජයෙන් අපට හිමිව පවතින්නක්. නමුත් විය යුතු වන්නේ එය නො ව ඔවුන් අතර ඇති නො ගැලපීම් ගැටළු දෙදෙනා විසින් මනා ලෙස අවබෝධ කර ගෙන වෙන් ව යාමයි. එමඟින් තරුණ ජීවිතවල පමණක් නො ව සමස්ථ සමාජය තුළ උද්ගතව ඇති ඛේදනීය තත්ත්වය වළක්වා ගැන්මට හැකියාව උදා වෙයි.

Sunday, June 3, 2018

සියදිවි නසා ගැනීමේදී ස්ත්‍රිය සාහසික ඇයි?




සමකාලීන සමාජ ගැටලු පිළිබඳ සමාජ විද්‍යාත්මක විග්‍රහයේදී පැහැදිලි වන සුවිශේෂී සමාජ ගැටලුව පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹීම .  2017 වසරේ පොලිස් නිල සංඛ්‍යා ලේඛනවලට අනුව සියදිවි නසාගැනීම් වලින් 80% නියෝජනය කරන්නේ පිරිමි පාර්ශවය යි . සංඛ්‍යාත්මක වශයෙන් එය 2580කි. වයස අවුරුදු 16 ත් 35 ත් අතර තරුණ සියදිවි නසා ගැනීම් වාර්තා පිරික්සීමේදී දී මතු මතු වන සුවිශේෂී කරුණකි ස්ත්‍රිය සිය සියදිවි හානිකර ගැනීමේ වඩාත් කෲර උපක්‍රම භාවිතයට ගැනීම. තම සිරුරට ගිනි තබා ගැනීම තියුණු ආයුධ භාවිත කර සිරුර කපා කොටාගෙන මිය යෑම වැනි අතිශය වේදනාකාරී ක්‍රම භාවිත කොට ගනිමින් කාන්තාව සිය ආත්ම ඝාතනය කර ගන්නේ ඇයිද යන කාරණය පිළිබඳ ව සමාජ විද්‍යාත්මක කරුණු විමර්ශනයේදී පෙනෙන්නේ තමා  පීඩාවට ලක්වන සමාජ ක්‍රමය වෙත මුදා හැරිය නොහැකි ප්‍රචණ්ඩත්වය අංශක  180ක් තමා දෙසට නැඹුරු කොට ගැනීමයි.

ලාංකීය සමාජ ක්‍රමය තුළ කායික හා මානසික වශයෙන් නිරන්තර දරුණු පීඩනයට ලක් වන්නේ කාන්තාවයි. එම පීඩනය ස්ත්‍රී පුරුෂ භාවය පවුලේ ආර්ථික තත්ත්වය විවාහය ගෘහස්ථ හිංසනය හා විශේෂයෙන් ලිංගිකත්වය පාදක කොට ගත් අත්දැකීම් ඔස්සේ ඇතිවන්නකි. මෙම මතය සනාථ කළ හැකි ප්‍රබල තර්කයක් ලෙස කාන්තාව වඩා සාහසික ස්වරූපයෙන් තම ආත්ම ඝාතනය  කර ගැනීමට ගන්නා වෑයම දැක්වීමට පුළුවන. මෙහිදී කාන්තාව වඩා  ප්‍රචණ්ඩ හා කෲර ක්‍රියාවන් තමා වෙතටම  යොමු කර ගන්නේ අනෙකාගෙන් පලි ගැනීමට තිබෙන උවමනාවත් විශේෂයෙන් පිරිමියාගෙන් හෝ  සමාජයෙන් පලි ගැනීමට තිබෙන සංකේතීය ප්‍රකාශයක් ලෙසයි. ගිනි තබා ගැනීම වැනි උපක්‍රමයක් ගත් විට එයින් ඇතිවන වේදනාව කෲරත්වය හිංසනය අනෙකා මත කණගාටුවක් වේදනාවක් හා තැවීමක් ඇති කරයි යන බලාපොරොත්තුවෙන් ඔවුන් එවැනි සාහසික ක්‍රියා සඳහා යොමු වෙයි.

සංස්කෘතික පීඩනය කාන්තාව කෲර සියදිවි නසාගැනීම් කෙරේ යොමු කරන තවත් සාධකයකි.
සංස්කෘතිය මගින් ඇති කරන සදාචාරමය පීඩනය නිතැතින්ම යොමු වන්නේ ස්ත්‍රී පාර්ශවය වෙත යි.පුරුෂයාට සාපේක්ෂව ගත් විට ස්ත්‍රියට සමාජය තුල හිමිව තිබෙන්නේ අවම නිදහසකි. ඒ තුළ ඇය යම් සංස්කෘතික සදාචාරමය කරුණු වලින් පාලනය වීමක් සිදුවෙයි.කන්‍යා භාවය අහිමි වීම වැනි කාරණාවක් කාන්තාව සිය දිවි නසා ගැනීමට පොළඹවන ප්‍රබල කාරණයකි.ප්‍රේම සබඳතා ඔස්සේ සිදුවන විවාහය අද වන විට ඉහළ මට්ටමේ පවතින්නක්. ලාංකීය සමාජ පරිසරයෙහි විවාහයට පෙර ලිංගික සබඳතා පිළිනොගන්නා නමුත් අතීතයේ පැවති සාම්ප්‍රදායික විවාහ ක්‍රමයට වඩා ප්‍රේම සම්බන්ධතා ඔස්සේ සිදුවන විවාහය ඒ අතරතුර ලිංගික අත්දැකීම් සාමාන්‍යකරණය වී තිබේ. නමුත් කන්‍යාභාවය සොයා බැලීම  විවාහයේදී නැවත සිදු කරයි. එකම ක්‍රියාවලියක දෙතැනක දී සංස්කෘතික වටිනාකම්වල පරස්පරතාවයන්  ගැටුමක් නිර්මාණය වීම සිදු වේ.



මේ පිළිබඳ සමාජ විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් ගත් විට පිරිමියාට ලිංගික අත්දැකීම් ලබාගැනීමට තිබෙන ඉඩ ගැහැනියට බාධකයක් ගෙන එයි.මෙය දෙපාර්ශ්වයේ අනුදැනුමෙන් සිදුවූවත් වරද පැටවෙන්නේ ගැහැනිය මතයි.එය අත් දෙකකින් අත්පුඩි ගසා එක් අතකට පමණක් වරද පැටවීමක් වැන්නකි. අත්දැකීම්වල විරල බව ස්ත්‍රිය සාහසික සියදිවි හානි කරදුවීම් හානිකර ගැනීමට යොමු කරන තවත් හේතුවක් වේ.
ජීවන අත්දැකීම් වල ඇති දුර්වලතාවය මත ගැටලු නිරාකරණය කිරීමට හෝ  ගැටුම් කළමනාකරණය කිරීමේ නොහැකියාව ඔවුන් සිය දිවි හානි කරගැනීම දක්වා ඇද දමනු ලබයි.තමා හට ගැටළුවක් ගැටලුවක් මතු වූ විට උපකාර ලබාගත හැකි  ක්‍රම හා ඒ සඳහා යොමු විය යුතු පුද්ගලයින් පිළිබඳ ස්ත්‍රීන් තුළ පවතින අවබෝධය දුර්වල මට්ටමක පවතී.මෙහිදී ස්ත්‍රියට අත්වන ඛේදනීය ඉරණම වන්නේ ඇතැම් විට ඔවුන් උපකාර පතන පුද්ගලයින් හේතුවෙන් පෙරට වඩා කායික මානසික ව්‍යසනයන්ට මුහුණ පෑමට සිදු වීමයි. සියදිවි හානිකරගැනීම පුද්ගලයාට එරෙහිව සිදු වුවත්  එය අවසානයේදී සමාජ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වේ.

සාහසික ක්‍රියා පදනම් කොට ගනිමින් ස්ත්‍රිය සියදිවි නසා ගැනීම් වලට යොමු වීම යන කරුණ කෙරේ  ගැඹුරින් විමර්ශනය කරන විට පෙනී යන්නේ සමාජ ආර්ථික සංස්කෘතික සදාචාරමය පීඩනය ස්ත්‍රිය කෙරේ සෘජුව එල්ල වී පැවතීමත් සංස්කෘතික තත්ත්වය තදබල ලෙස හිතින් ගැනීම ඒවාට නම්‍යශීලී නොවීම හා පරිණාමය නොවීමත් මීට ප්‍රමුඛ හේතු කාරණා සේ දැක්විය හැකිය. මේ ආකාර වූ සාහසික සියදිවි නසාගැනීම් වලින්  ස්ත්‍රිය මුදා ගැනීමට සමාජ ක්‍රමය වඩා ප්‍රගතිශීලී විය යුතු අතර සංස්කෘතික අගනාකම් කාලානුරූපීව වෙනස් විය යුතු බව සමාජය තේරුම් ගත යුතු ය.

මතකය හා අමතක වීම

මිනිස් මතකය ප්‍රධාන වශයෙන් කෙටිකාලීන මතකය සහ දිගු කාලීන මතකය  ලෙස කොටස් දෙකකට බෙදා දක්වන්නට පුළුවන. කෙටිකාලීන මතකයේ වූ කරුණු ඉක්මනින් ...